සුදුසුකම් ලැබීමේ තරගාවලි දෙකක් අවිනිශ්චිතව කල්යයි

ලබන වසරේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් එම තරග කල් දමා ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව ප්‍රකාශ කරයි. මේ වසරේ ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත තිබූ 2022 වයස 19 න් පහළ ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගද කල් දමා ඇත.

“අවිනිශ්චිත සැලසුම් සම්බන්ධයෙන් පුළුල් දැක්මක් ඇතිව මෙන්ම නිසි උපදේශනයෙන් පසුව” මෙම තීරණය ගත් බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියා සිටී.
ලබන වසරේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා වූ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජූලි 3 සිට 19 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබිණ. එහිදී සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 3 කට 2021 දී නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට අවස්ථාව තිබේ.
2022 දී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජූලි 24 සිට 30 දක්වා ඩෙන්මාර්කයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
“මෙම දුෂ්කර කාල පරිච්ඡේදය තුළ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, නිලධාරීන්, රසිකයන් සහ සමස්ත ක්‍රිකට් ප්‍රජාවේම යහපැවැත්ම ආරක්ෂා කිරීම අපගේ ප්‍රමුඛතාවයි” යනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරගාවලි පැවැත්වීමේ ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි මහතා පැවසීය.
“තත්ත්වය ආරක්ෂිත හා ප්‍රායෝගික වූ වහාම නැවතත් මේ තරගාවලි ආරම්භ කිරීම සඳහා උචිත අවස්ථාවක් සොයා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව උත්සාහ කරනවා” යයිද ටෙට්ලි මහතා පැවසීය.
මේ වසර අගදී ටැන්සානියාවේදී සහ තායිලන්තයේදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ තරගාවලියේ සුදුසුකම් තේරීමේ වට සමබන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගනු ඇත.
ලබන වසරේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන සහ 2023 දී පැවැත්වෙන ඕවර 50 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරග ජුලි මාසය දක්වා කල් දැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව කළින්ම තීරණය කළේය.
ඔක්තෝම්බර් මාසයේදී ඕස්ටේ්‍රලියාවේ පැවැත්වෙන පිරිමි විස්සයි 20 ලෝක කුසලානය පැවැත්වීමට තවමත් සැලසුම් කරමින් සිටින බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය මාසයේ කියා සිටියේය.
- 2079